දකුණු කොරියාවේ, ඉතාලියේ හා නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 50ක මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (06) ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය ඉහත රටවල රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාගෙන ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි 8ක් ලැබී තිබෙනවා.
ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් ඇයගේ නිවස වෙත ගියද, ඇය විමර්ශන නිළධාරීන් මගහරිමින් සිට ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
ඒ අතරතුර අදාළ කාන්තාවගම්පහ ප්‍රදේශයේ ආයතනයක් තුළ ඊශ්‍රායල් රැකියා සඳහා බඳවාගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වන බවට ලද තොරතුරක් අනුව, විමර්ශන නිළධාරීන් අදාළ ස්ථානය වෙත ගොස් ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාන්තාව කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, මීට පෙරද විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර ඉන් ඇප ලබා සිටින තැනැත්තියකි.
එසේම වෙනත් පොලිස් ස්ථානවලද ඇයට එරෙහිව විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් පැමිණිලි පවතින බව විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් අයකිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින (07) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.










