ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇතුළු සැකකරුවන් තුන් දෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අල්ලස් චෝදනා මත වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
එසේම සැකකරුවන් ලබන 8 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(24) නියෝග කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අල්ලස් කොමිසමේ නිලදාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
තුන් වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී සුරසිංහ විජේරත්න, කළමනාකාර සහකාර ලියනගේ ඉන්දික සහ වෛද්‍යවරියගේ ආයතනයක සේවය කළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රන්ජිත් නමැති සැකකරුවන් තිදෙනායි.