ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව කොළඹ මහාධිකරණය ඉදිරියේ ඊයේ දිනයේ විභාගයට ගත් අවස්ථාවේදී චූදිත විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කර තිබෙනවා. අනතුරුව විත්තිය වෙනුවෙන් සාක්ෂි ලබා දීමට සාක්ෂිකරුවන් තිදෙනෙකු නම් කෙරුණු අතර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ලබන අගෝස්තු විසි හය වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස ඔවුන්ට සිතාසි නියම කරනු ලැබුවා. 2007 සහ 2008 යන වසරවලදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සෙනරත් හෙට්ටිආරච්චි නමැත්තාගෙන් බදු පදනම යටතේ වාහනයක් ලබා ගෙන ආයතනයට රුපියල් නව ලක්ෂ හැට දහසක මුදලක් පාඩු කිරීමේ චෝදනාව යටතේ මෙම අල්ලස් නඩුව ගොනු කර තිබෙනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ වාහන අවභාවිත කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පැවරූ තවත් නඩු දෙකක් මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතයි.