”ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ 77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙට උදෑසන ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙවර නිදහස උලෙළ උත්කර්ෂවත්ව හා වියදම් අඩු කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
එමෙන්ම වෙනත් නිදහස් උත්සවවලට සාපේක්ෂව මෙවර මහජනතාව වැඩිවශයෙන් සහභාගි කරවා ගැනීමට ද රජය සැලසුම් කර තිබෙනවා.
නිදහස් දින සැමරුම් පෙළපාළියේ සංයුතියද මෙවර වෙනසකට භාජන කර තිබෙනවා.
ඒ අනුව හමුදා සාමාජිකයන් 1873 කු පමණක් මෙවර සහභාගි කරවා ගැනීමට නියමිතයි.
ගිය වසරේදී පෙළපාළිය සඳහා 3384 දෙනකු සහභාගි කරවා ගෙන ඇති අතර ඒ අනුව මෙවර සෙබළුන් 1511 දෙනකුගේ අඩුවීමක් දක්නට ලැබෙනවා.
එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගැනීමට තීරණය කර ඇති අතර නාවික හමුදාව විසින් පවත්වන සාම්ප්‍රදායික වෙඩිමුර 25 මෙවරද පවත්වනු ලබනවා.
ගියවර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා තුනක් පමණක් යොදා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.