පාසල් සිසුවියක් රවටා රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රඳවා සිටි සැකකරුවෙකු ලිඳුල පොලිසිය විසින් ඊයේ(17) රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසල් සිසුවිය ලිඳුල පොලිස් වසමට අයත් ලෝගි වතුයායේ පදිංචි තලවකැලේ ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක 19 වන වසරේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවියකි.
මොවුන් දෙදෙනා මුහුණපොත (Facebook) ඔස්සේ හඳුනාගෙන ප්‍රේම සබඳතාවයක් ඇති කරගෙන ඇති බවත් පසුව තරුණයා විසින් මුණගැසීම සඳහා 15 වන දින මුණ ගැසීම සඳහා නානුඔය දුම්රිය ස්ථානයට පැමිණෙන ලෙසත් සිසුවියට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව සිසුවිය සිය නිවැසියන්ට නොදන්වා නානුඔය දුම්රිය ස්ථානය වෙත ගිය අවස්ථාවේ සැකකරු පාසල් සිසුවිය දුම්රියෙන්ම හපුතලේ දක්වා කැටුව ගොස් ඇති බවයි ලිඳුල පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
පාසල් සිසුවියගේ මව ගෘහ සේවයට විදේශගතව සිටින බවත් පියා භාරයේ සිටි දියණිය නිවසේ නොමැති බවට පියා විසින් ලිඳුල පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ලිඳුල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පාලිත නන්දසිරි මහතා පාසල් සිසුවියගේ දුරකථන අංකය ඔස්සේ විශ්ලේෂණය කර නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මණ මහතාගේ උපදේස මත හපුතලේ ප්‍රදේශයට ගොස් සැකකරු, පාසල් සිසුවියද සමග ඊයේ(17) රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසල් සිසුවිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බවත් සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් ලිඳුල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පාලිත නන්දසිරි මහතා කියා සිටියා.