දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන බව කියන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඉදිරි දින දෙක තුළ නිකුත් කිරීමට කටයුතු කරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.
මේ වන විට අදාළ ද්‍රව්‍යවල සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ .
මේ අතර අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මෙරටට ගෙන්වූ රසායනික ද්‍රව්‍ය තවත් ස්ථානවල සඟවා ඇත්දැයි සොයා පොලීසිය පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
පසුගිය දින වලදී අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය, තංගල්ල නෙටොල්පිටිය සහ කඳාන ප්‍රදේශයේ ස්ථාන තුනකින් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.
ඉන්දුනීසියාවේදී පසුගිය දා අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ නමින් හැදින්වෙන පුද්ගලයාගේ මෙහෙයවීම මත අදාළ රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් ඉකුත් සමයේදී විදෙස් රටක සිට මෙරටට එවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
එම රසායනික ද්‍රව්‍ය සඟවා ඇති තවත් ස්ථාන තිබේදැයි සොයා අදාළ විමර්ශන ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
මිද්දෙණිය ප්‍රදේශයෙන් එම රසායනික ද්‍රව්‍ය සොයා ගත් ඉඩමේ වළ දමා ඇති එම රසායනික ද්‍රව්‍ය සොයා ඊයේ දිනයේදීද පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළා.
එම සෝදිසි මෙහෙයුම් සදහා භූගත ද්‍රව්‍ය හඳුනාගැනීමට යොදා ගන්නා ස්කෑන් යන්ත්‍ර උපයෝගී කර ගෙන තිබෙනවා.
අදාළ ඉඩමේ තිබී පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරී සඳහා භාවිත කරන ඇඳුම් සහ උපාංග කිහිපයක් ද සොයාගෙන තිබුණා.