කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුට ආධාර සහ අනුබල දුන් බවට සැකපිට කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ මොවුන් තිදෙනා ඊයේ(21) දහවල් කාලයේදී මල්වාන සහ රණාල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණු බවයි.
ජුනි මස 15 වන දින අලුයම් කාලයේදී කළුබෝවිල පන්සල පාරේ නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා පළා යාම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කළ විමර්ශනවලට අදාළව මෙම සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 33 සහ 54 යන වයස්වල පසුවන මල්වාන ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙක් බවත් සැකකරු රණාල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක අයෙක් බවත් පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරියන් දෙදෙනා මෝදර නිපුණ නමැත්තාගේ ඥාතිවරියන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.
පොලිසිය සැක කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි.
සැකකරුවන් සමග ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට පත්වූ කාන්තාවන් දෙදෙනා වෙඩික්කරුගේ බිරිඳ සහ බිරිඳගේ මව බවටද තොරතුරු වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.