
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්, එම පක්ෂය සඳහන් කළේ, මේ මස 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීම මෙහි අරමුණවී ඇති බවයි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට වටා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ද තිබෙන බව පිළිගත යුතු බවයි එහි සඳහන් වන්නේ. අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව ඊයේ පස්වරුවේදී බන්ධනාගාරයට රැගෙන ගොස් තිබුණා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කර තිබෙන්නේ.













