මේ අතර ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6 ක මිලිමීටර 200 ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.
ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර යන පළාත්වල මෙම අවදානම් තත්ත්වය පවතින බවයි සදහන් වන්නේ.
ඉහත සඳහන් කළ පළාත්වල අද සිට ලබන 30 වන දින දක්වා කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඒ හේතුවෙන් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන කෙරෙහි සියලුම ගංගාවල පහත් නිම්නයන්හි පදිංචි ජනතාව හා එම ප්‍රදේශ ඔස්සේ ගමන්කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.
මේ අතර බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට බෙරගල සහ හල්දුමුල්ල අතර ප්‍රදේශයෙන් පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ රථ වාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ මෙලෙස පස්කන්ද කඩා වැටී ඇති බවයි.
කෙසේවෙතත් අදාළ ප්‍රදේශය තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.













