සබරගමුව පළාත් සභාවේ හිටපු මහ අමාත්‍යවරයා වෙත අනුමත ඉන්ධන සීමාව ඉක්මවා රු. 7,730,262ක් වැඩිපුර ගෙවා ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වි තිබෙනවා
මේ පිළිබඳ අනාවරණය වූයේ, සබරගමුව පළාත් සභාවේ 2022 සහ 2023 වර්ෂවල විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රි අරවින්ද සෙනරත්ගේ සභාපතිත්වයෙන් පසුගියදා (අගෝ. 5) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
2014-2017 කාලය තුළ මෙම ගනුදෙනුව සිදුව ඇති අතර එම කාලයේ සබරගමුව මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළේ මහීපාල හේරත් ය.
2010 රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය ප්‍රකාරව සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට වාහන 3ක් වෙනුවෙන් මාසිකව ඉන්ධන ලීටර 1,700ක් සඳහා 2014 වර්ෂයේ සිට රු. 9,850,170 ගෙවා තිබියදී සබරගමුව පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ප්‍රධාන අමාත්‍යවරයාට සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියෙන් සහ සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් මාසිකව ඉන්ධන ලීටර් 1,500 බැගින් අනුමත කර තිබේ.
එසේ ම, 2016 සහ 2017 යන්ත්‍රෝපකරණ අධිකාරියෙන්ද රු. 2,695,000ක් ලබාගෙන ඇති බවද රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
තව ද, 2014 සිට 2017 දක්වා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් රු. 5,035,262ක්ද ගෙවා තිබූ බවත් මේ අනුව අනුමත ඉන්ධන සීමාව ඉක්මවා රු. 7,730,262ක් වැඩිපුර ගෙවා ඇති බවත් මෙහිදී අනාවරණය විය.
එමෙන් ම, පළාත් ආණ්ඩුකාරවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ඔහුගේ ඉන්ධන දීමනාව පෞද්ගලික ලේකම්වරිය ලබාගෙන ඇති බව අනාවරණය වී ඇති අතර එවැනි ප්‍රතිපාදනයක් නොමැති බැවින් මෙම මුදල් හිටපු ආණ්ඩුකාරවරයාගෙන් අයකර ගැනීමටද තීරණය වී තිබේ.