දිට්වා සුළි කුණාටුවත් සමග නුවරඑළිය ප්‍රදේශයට සිදුවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සහ ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු සඳහා වැලි අත්‍යවශ්‍යව තිබියදී මහියංගණයේ සිට වලපනේ හරහා නීත්‍යානුකූලව වැලි ප්‍රවාහනය කිරීමට නුවරඑළිය කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා ඉඩ ලබානොදෙන බව නුවරඑළිය වැලි ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ගීගනගේ මහතා චෝදනා කර සිටිනවා.
අද(14) දින වැලි ප්‍රවාහනය කිරීම සඳහා පතල් හා භූ විද්‍යා කාර්යාංශයෙන් නිකුත් කළ බලපත්‍රයක් අනුව මහියංගණයේ සිට කන්දකැටිය වලපනේ හරහා නුවරඑළියට වැලි ප්‍රවාහනය කිරීමට අවසර ලබාදී තිබූ බවත් ඒ අනුව වැලි ප්‍රවාහනය කිරීමට තිබූ ටිපර් රථ පහක් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගයක් මත කන්දේකැටිය පොලිස් මුරපොල අසල උදෑසන 6 සිට නතර කර තිබෙන බවත් දිනේෂ් ගීගනගේ මහතා පවසනවා.
තමන් මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයාගෙන් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගෙන් කරුණු විමසූ බවත් එවිට ඔවුන් දෙදෙනාම නුවරඑළියට වැලි අත්‍යවශ්‍ය බවත් වැලි ප්‍රවාහනය කිරීමට එම මාර්ගයේ කිසිදු තහනමක් ගෙන නොමැති බවත් එම නිලධාරීන් දෙදෙනා පැවසූ බවයි දිනේෂ් ගීගනගේ මහතා පවසන්නේ.
වැලි සහ මත්පැන් ප්‍රවාහනයට ඉඩ ලබානොදන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් කළ විමසුමකදී තමන් වෙත පැවසූ බවයි දිනේෂ් ගීගනගේ මහතා පවසන්නේ.
රජයේ උසස් නිලධාරීන්ගේ නියෝගවලට එපිටින් ගොස් නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම නියෝගය කන්දකැටිය පොලිස් මුරපොළට ලබාදී ඇති බවයි දිනේෂ් මහතා වැඩිදුරටත් කියා සිටියා.
අප මේ සම්බන්ධයෙන් නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගෙන් අද(14) පස්වරු 1ට පමණ විමසා සිටි අවස්ථාවේදී කියා සිටියේ උදෑසන ටිපර් රථ කිහිපයක් නතර කර තිබූ බවත් එම ටිපර් රථ නුවරඑළිය දක්වා ප්‍රවාහනය කිරීමට කටයුතු කරන ලෙස කන්දෙකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළ බවයි.













