බස් රථ ඇතුළු රථ වාහනවල අන්තරාදායක ලෙස සවිකර ඇති අමතර කොටස් සම්බන්ධයෙන් හෙට(08) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
දිවයින පුරා සියලුම පොලිස් ස්ථානයන් වෙත මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
වාහනයේ ආකෘතියෙන් පිටතට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව වෙනස් කළ වාහන ධාවනය කිරීමට නොහැකි බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ.
නිර්නායක රැසක් යටතේ බස් සහ ත්‍රීරෝද රථවල ඇතැම් අලංකරණ සිදු කිරීමට හැකියාව සහ අවසර ලබාදී ඇති අතර ඇතැම් අලංකරණ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගාස්තුවක් ද ගෙවිය යුතු වනවා.
බස් රථයේ පැති කණ්ණාඩි සවි කිරීමේදී අනුමත සීමාවෙන් පිටතට නොයන ලෙස රවුම් බට පමණක් භාවිත කළ යුතු වනවා.
තියුණු උල් සහිත කොටස්, බෝල, අමතර පහන් ආදිය සවි නොකිරීම, බස් රථයේ නලාව සවිකිරීමේදී මෝටර් වාහන පනතට අදාළව සවි කිරීම රෝදවලට රිම් කප් සවි කිරීමේදී පිටතට නෙරා සිටින සේ හෝ බාහිරට අනතුරුදායක වන ලෙස සැකසීම නොකළ යුතු වනවා.
එසේම බඳෙහි ආලෝක රටා සහිත විදුලි පහන් සවි කිරීමට රුපියල් විසි දහසක ගාස්තුවක් ගෙවිය යුතු අතර එම අවසරය විනෝද චාරිකා සඳහා යොදා ගන්නා විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කරන ලද බස් රථ සඳහා පමණක් සීමා වේ.
රුපියල් දස දහසක ගාස්තුවකට යටත්ව එවැනි බස් රථවල පමණක් ඇතුළත ආලෝක රට පද්ධති සවි කිරීමට හැකියාව ඇති බවත් එවන් නිර්ණායක 22ක් යටතේ කටයුතු අනුමැතිය ලබාදී තිබෙනවා.
එසේම ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය කිරීම නිර්නායක 15ක් යටතේ සිදු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී තිබෙනවා.