ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(17) සවස් කාලයේදී මෙම සැකකරුවන් හබරණ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පොලිසියට ලද තොරතුරක් මත සැකකටයුතු පුද්ගලයකු පරීක්‍ෂා කර ඔහු සන්තකයේ රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් හමුවීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනාවරණය කර ගත් තොරතුරු මත හබරණ සහ අනුරාධපුරය යන ප්‍රදේශවලදී තවත් රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු දෙකක් බැගින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශනයේදී අද(18) අලුයම් කාලයේදී පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේදී රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු 138ක්, ලැප්ටොප් යන්ත්‍රයක්, ස්කෑන් සහ මුද්‍රණ යන්ත්‍රයක් සමග මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 42ත් අතර වයස්වල පසුවන හබරණ, අනුරාධපුර සහ පෑදෑව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පරීක්ෂන සිදු කරනු ලබන හබරණ පොලිසිය කියා සිටියේ.
දෛනික අවශ්‍යතා අනුව භාණ්ඩ මිලදී ගැනීමේදී හා විවිධ ගනුදෙනු සඳහා පරිහරණයේදී එම මුදල් ව්‍යාජ මුදල් නෝට්ටුද යන්න සම්බන්ධයෙන් සුපරීක්‍ෂාකාරීව හා සැලකිලිමත්ව අවධානයෙන් තහවුරු කර ගන්නා ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.
එසේම ව්‍යාජ මුදල් නෝට්ටු පරිහරණය කිරීමත් එවැනි ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගන්නා හෝ ගනුදෙනු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු වහාම ශ්‍රී ලංකා පොලිසිය වෙත දැන්වීමට කටයුතු කරන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.