මැල්සිරිපුර, මහවෙල මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා කොල්ලකන ලද යතුරු පැදියක් සහ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(31) සවස් කාලයේ මැල්සිරිපුර, මහවෙල මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකට පුද්ගලයෙකු තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා යතුරු පැදිය කොල්ලා පලා යන බවට මැල්සිරිපුර පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි.
එහිදී අදාළ කොල්ලකරු මැල්සිරිපුර නගරයේ අවන්හලක රථ ගාලක් තුළ රැඳී සිටින බවට රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි නිලධාරීන්ට ලද තොරතුරක් මත ඔවුන් විසින් සැකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පා ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරුණු සැකකරු පොලිස් නිලධාරීන් විසින් අවශ්‍ය බලය යොදා අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකන ලද යතුරු පැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට පොල්ලකින් පහරදී තිබෙනවා.
ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙක් මේ වන විට කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවයි පොලිසිය කියා සිටියේ.
එසේම සැකකරුද තුවාල ලබා පොල්ගොල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු ජුනි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ.
යතුරු පැදිය කොල්ලකෑම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ එරබදුගොල්ල, මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙක්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකු විසින් පටිගත කරන ලද වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් විසින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කටයුතු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මැල්සිරිපුර පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.