පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නමැත්තා නිදහස් කර ඇති බවටත් එම සිදුවීම පිටුපස බරපතල අක්‍රමිකතාවක් ඇති බවටත් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යන්‍ස්ථාවේ 34(1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමිව ඇති බවයි.
ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කරනු ලබනවා.
එම ලේඛනය අධිකරණ අමාත්‍යංශය විසින් පරීක්‍ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමිවනවා.
කෙසේ වෙතත් ඉහත සිදුවීමට අදාළව මැයි මස 06 දැනිතව හා 06/01/යෝජිත/ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනය නම් 388කින් සමන්විත අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත්ව නොතිබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සමාවදීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් අතුළත්ව නොමැති බවද සඳහන්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂනයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ(06) දින ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් පැවැත්වීමටත් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී කටයුතු කරන බවද සඳහන්.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධානාගර දෙපාර්තමේන්තුවද කරුණු පැහැදිළි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණක් බවයි.
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අතුල තිලකරන්න නමැති මෙම සිරකරු බන්ධනාගාර ගත කර ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස අධිකරණය නියම කර ඇති බවයි.
එමෙන්ම එම දඩය නොගෙවන්නේ නම් මාස හයක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගත් බවද නිවේදනයේ දැක්වෙනවා.
පසුගිය මැයි මස 12 වන දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිත්තෙන් 5 වැනි දින වන විට බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසිවලට යටත් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
මෙලෙස වෙසක් පොදු සමාව යටතේ නිදහස් කර ඇත්තේ සීඩීබී නම් ප්‍රකට මූල්‍ය ආයතනයක අනුරාධපුර ශාඛාවේ කළමනාකාරවරයෙක ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.