යාපනය-මහනුවර ඒ 09 මාර්ගයේ නාඋල, 48 සහ 49 කිලෝමීටර් කණු අතරදී අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ මහනුවර දෙස සිට දඹුල්ල දෙසට එළවලු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් 48-49 කිලෝමීටර් කණු අතර බෝක්කුවක් ආසන්නයේ මාර්ගයේ නවතා තිබෙනවා.
එම දිසාවටම ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් නවතා තිබූ ලොරි රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරෙන් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා නාලන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වූ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසි වැඩිදුරටත් කියා සිටියේ.
නාඋල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර බලංගොඩ, තිරුක්කෝවිල්, කොහුවල සහ රත්නපුර යන ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින්ද පුද්ගලයන් සිව්දෙනෙක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
බලංගොඩ, රත්නපුර මාර්ගයේ ඇල්ලේපොල ප්‍රදේශයේදී රත්නපුර දෙස සිට බලංගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ මගී බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදිය බස් රථයේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් යතුරු පැදිකාරිය බරපතල තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් පමණ වූ තන්ජන්තැන්න බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
බස් රථයේ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර පොතුවිල් අක්කරපත්තු මාර්ගයේ තංගවේලායුදපුරම් ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනො සහ පසු පැදිකරුවන් දෙදෙනා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරිමේදී එක් යතුරු පැදිකරුවෙක් මියගොස් ඇති අතර අනෙක් යතුරු පැදිකරු සහ පසුපැදිකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරපත්තුව සහ අම්පාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 29ක් පමණ වූ ගයාත්‍රී ග්‍රාමය, තිරුක්කෝවිල් 04 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තිරුක්කෝවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
කොහුවල, සරණංකර මාර්ගයේ කළුබෝවිල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ පදිකයෙකු හප්පා අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ පදිකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෝකිලා පාර, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 59ක පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදු කළ සැකකරු මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
එසේම රත්නපුර කොළඹ මාර්ගයේ රත්නපුර බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේදී කොළඹ සිට රත්නපුර දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
රත්නපුර, මුද්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 48ක් පමණ වන පුද්ගලයෙක් එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.