හැටන් ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟකින් හැටන්හි ප්‍රදේශ රැසක නිවෙස්වල වහළවල් පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් ගැලවී ගොස් ඇති බව වාර්තා වනවා.
හැටන් රුවන්පුර ජනපදය, හැටන් කුඩාගම, හැටන් සිත්තර වත්ත සහ දික්ඔය යන ප්‍රදේශවල නිවාස රැසක් මෙම අනතුරට ලක්ව තිබෙනවා.
ඊයේ(30) හමා ගිය මෙම දැඩි සුළඟ හේතුවෙන් එම ප්‍රදේශවල අධිබලැති විදුලි රැහැන් සහ කණු කඩා වැටී ඇති බවයි හැටන් මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා පවසන්නේ.
හානියට පත් නිවාසවල පදිංචිකරුවන් තාවකාලිකව ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස්වලට යොමු කර ඇති බවත් තවදුරටත් මධ්‍යම කඳුකරයේ අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
හමා ගිය දැඩි සුළං තත්ත්වයත් සමගින් හැටන් ප්‍රදේශයේ ඇද තිබූ අධිබලැති විදුලි රැහැන් සහ කණු ගණනාවක් කැඩී යාම හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් රැසකට විදුලි බලය ඇනහිට තිබෙනවා.
හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිමල් සමරකෝන් මහතා කියා සිටියේ එම විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.