[රංජිත් රාජපක්ෂ – හැටන් / මනුර සුදත් සෙල්ලහේවා – හැටන්]
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් අධික සුළං සහ වැසි පතිතවීමෙන් ජනජීවිතයට ගැටලු රැසක් මතුව තිබෙනවා.
හැටන් ආගිල් වතු යායේ පෞද්ගලික වැඩපලක ගොඩනැගිල්ලක වහළය ඊයේ(31) රාත්‍රීයේ සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් එම ගොඩනැගිල්ලට සම්පූර්ණයෙන්ම අලාභ හානි සිදුව ඇති බව හැටන් පොලිසිය පවසනවා.
මේ අතර නුවරඑළිය පොලිසිය පැවසුවේ නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශය හරහා හමා ගිය සුළඟකින් නිවසක වහළ සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් එම නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි.
පවතින වර්ෂාවත් සමග හැටන්, ලිඳුල, නුවරඑළිය, නෝර්ටන්බි්‍රජ්, හස්කෙළිය යන විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථාන යටතේ පාලනය වන බලප්‍රදේශවල ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම් ගණනාවක්ම සිදුව ඇති බවත් එම බිඳවැටීම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිද කරන බවත් විදුලිබල මණ්ඩලය පවසනවා.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැඩි සුළු සහ වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් පවුල් 40කට අයත් සාමාජිකයන් 130 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.
මේ අතර හැටන් කාසල්රී කාපේක්ස් ද්‍රවිඩ විදයාලය ආසන්නයේ ඇති රූස්ස ගස් දෙකක් හේතුවෙන් විද්‍යාලයේ සිසුන් සහ ගුරු මණ්ඩලය දැඩි බියකින් පසුවන බව වාර්තා වනවා.
හැටන් අධ්‍යාපන කලාපයට අයත් මෙම විදුහල අසල පවතින ගස් දෙකෙන් විද්‍යාලයට යම් හානියක් වෙතැයි අනුමාන කර මෙම ගස් කපා දැමීමට මූලාක පියවර ගෙන තිබුණත් එම ස්ථානයේ පවතින විදුලි රැහැන් හේතුවෙන් ගස් කපාදැමීම කල් ගොස් ඇති බව විද්‍යාලයේ ගුරුවරයකු කියා සිටියා.
මෙම ගස් කඩා වැටී විශාල හානියක් සිදුවීමට පෙර එකී විදුලි රැහැන් ඉවත් කර මෙම ගස් කපා දැමීමට අදාළ බලධාරීන් පියවර ගන්නේ නම් එය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට හා ඉගැන්වීම් කරන ගුරුවරුන්ට කරනු ලබන විශාල මෙහෙයක් බවද එම ගුරුවරයා වැඩිදුරටත් කියා සිටියා.