බුද්ධ ශාසනයේ සුවිශේෂ සිදුවීම් රැසක් සිදුව ඇති දුරුතු පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.
බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වන්නේ ද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනයේදීයි.
සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදු රජාණන් වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.
එසේම බුදුන් වහන්සේගේ කේශ ධාතු මිටක් සුමන් සමන් දෙවියන්ට ලබාදී එම කේෂ ධාතු නිදන් කර මහියංගනය සෑය ඉදිකිරීමද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනයකදී සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.
එමෙන්ම බුදුන් වහන්සේ තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම දුරුතු පුර පසළොස්වක පොහොය දින සිදු වූ තවත් විශේෂ සිදුවීමකි. එමෙන්ම බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද අද වැනි දුරුතු පුර පසළොස්වක පොහොය දිනයකදී බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.
එසේම ලක්දිව ත්‍රිපිටක බුද්ධ ධර්ම ප්‍රථමවරට පුස්තකාරූඪ කිරීම සිදුව ඇත්තේ අද වැනි දුරුතු පුර පස්ළොස්වක පොහෝ දිනකදී බවයි සඳහන් වන්නේ.
එසේම ක්‍රි.ව. 247 සිට 249 දක්වා ඉතා කෙටි කාලයක් තුළ ධාර්මිකව රට පාලනය කළ සිරිසඟබෝ රජතුමා රාජ්‍ය අභිෂේකය ලබා ඇත්තේද දුරුතු පුර පසළොස්වක පොහොය දිනකදී බව ඉතිහාසයේ සඳහන් වනවා.
එසේම මියගිය ඥාති ප්‍රේතයන්ට නිරෝකුඩ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතර මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය ආරම්භ වී ඇත්තේද දුරුතු මාසයේදී බවයි සඳහන් වන්නේ.
කැලණිය රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරනු ලබන පෙරහැර මංගල්‍යයද පවත්වනු ලබන්නේ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේදීයි.
දුරුතු පුර පසළොස්වක පොහොය නව වසරේ ප්‍රථම පොහොය වන අතර, ඒ නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.













