පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සිදුකල ප්‍රකාශයට එරෙහිව එන්තරවාසියක් යොමු කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත නීතිඥයෙකු මාර්ගයෙන් මෙම එන්තරවාසිය යවා ඇති බවයි වාර්තා වන්නේ.
2025 වසරේ සැප්තැම්බර් මස 6 වන දා හෝ ඊට ආසන්න දිනයකදී හෝමාගම ප්‍රදේශයේ දී හෝ වෙනත් ආසන්න ප්‍රදේශයක පැවති මාධ්‍ය හමුවකදී පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇති බව අදාළ එන්තරවාසියේ සඳහන්.
එම ප්‍රකාශය අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන ආ බවට සැක කෙරෙන බහාලුම් දෙකක් සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණා.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද එහිදී ප්‍රකාශ කර ඇති බවයි අදාළ එන්තරවාසියේ සදහන්ව ඇත්තේ.
එම ප්‍රකාශය අතරතුර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් තම සේවාදායකයා වන නාමල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ඉතා පැහැදිලි ලෙස මාධ්‍යයට ප්‍රදර්ශනය කර ප්‍රකාශ නිකුත් කර ඇති බව නීතිඥවරයා එන්තරවාසියේ සඳහන් කර තිබෙනවා.
නාමල් රාජපක්ෂ මහතාට සහ ඔහු නියෝජනය කරන පක්ෂයට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කිරීමට ද මෙම ප්‍රකාශය පාදක වී ඇති බව එහි දැක්වෙනවා .
ඒ තුළින් නාමල් රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයට ඉතා විශාල හානියක් සිදුකර ඇති බවටත් අපහාසාත්මක ලෙස ඔහුගේ චරිතය ගැන අන් අය තුළ වැරදි මතයක් ඇති කිරීමට කටයුතු කර ඇති බවද එන්තරවාසියෙන් පෙන්වා දී තිබුණා.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයෙන් නාමල් රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානියට රුපියල් බිලියනයක තක්සේරුවක් ද නීතිඥයා විසින් සිදුකර ඇති බව සදහන්.
දින තුනක කාලයක් තුළ ඉහත සඳහන් කළ මාධ්‍ය සාකච්ඡාව ලබාදුන් ආකාරයේම ප්‍රසිද්ධියක් ලබාදෙමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා නාමල් රාජපක්ෂ මහතට එරෙහිව සිදුකළ සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වෙත දැනුම්දී ඇත්තේ.
එසේ නොවන්නේ නම් ලිපියේ සඳහන් දින 14ක් ඇතුළත එකී මුදල තම සේවාදායකයා වන නාමල් රාජපක්ෂ මහතා වෙත ගෙවීමට කටයුතු කරන ලෙස එහි දක්වා තිබුනා.
එසේ නොවන්නේ නම්, රුපියල් බිලියනයක මුදල ද ඊට අදාළ නෛතික පොලිය ද, නඩු ගාස්තු සහ වෙනත් ආනුශංගික වියදම් ද අයකර ගැනීම උදෙසා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට එරෙහිව නඩු පවරන බවයි අදාළ එන්තරවාසියේ සඳහන් ව ඇත්තේ.