දිට්වා සුළි කුණාටුවෙන් නායයාමට ලක්වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසුව රථවාහන ධාවනය සඳහා අද(15) උදෑසන 7 සිට විවෘත කර තිබෙනවා.
මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, 06 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, නාවලපිටිය සහ ඇත්ගාල පොලිස් ස්ථාන, පස්භාගේ කෝරළේ ප්‍රදේශීය සභාව, නාවලපිටිය නගර සභාව සභා ඇතුළු පාර්ශ්ව කිහිපයක් සහභාගීත්වයෙන් සිදු කෙරුණා.
නායයාම නිසා මාර්ගයට වැටී තිබූ පස් ඉවත් කර මාර්ගය සකස් කර ඇති අතර මාර්ගයට ඉහළින් පස් කන්ද නායයාමේ අවදානමක් පවතින නිසා ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදෙනතුරු ආරක්ිතව ගමනාගමනයට හැකි වන ආකාරයෙන් මාර්ගය නිර්මාණය කර ඇති බවත් මෙම ස්ථානයේ කටයුතු අවසන් වනතුරු සුපරික්ෂාකාරී ලෙස මාර්ගයේ රිය ධාවනය කරවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍ය බිමල් රත්නායන යන මහත්වරුන්ගේ උපදෙස් පරිසි මාර්ග පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ උපරිම ශක්තිය යෙදවූ බව යුධ හමුදාවේ නිලධාරියෙක් කියා සිටියා.
මාර්ග විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය කියා සිටියේ පස්භාගේ කෝරලය තුළ ආපදාවට ලක්වූ මාර්ග බොහෝමයක් මේ වන විට අලුත්වැඩියා කර අවසන් කර ඇති බවයි.
උලපනේ මහනුවර මාර්ගයේ සතියකින් පමණ වැඩ අවසන් කර ගමනාගමනයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරිය කියා සිටියා.
එසේම මේ වන විට බිඳවැටී තිබුණු ජල සැපයුම යථා තත්ත්වයට පත් කළ බවත් වැඩිම හානියක් සිදු වූ පල්ලේගම ප්‍රදේශයේ විදුලි පද්ධතිය වෙනුවට අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් යොදා හෙට(16) දින වනවිිට විදුලිය සැපයීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියා.
මෙම මාර්ගයේ බර වාහන ධාවනයට යම් යම් සීමා පනවා තිබෙනවා.
එම මාර්ගය විවෘත කිරීමෙන් පසුව එම ස්ථානයේ හානි වී ඇති දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි නාවලපිටිය දුම්රිය මාර්ග නඩත්තු අංශයේ නිලධාරියෙකු කියා සිටියේ.
මාර්ගය විවෘත කිරීමේ අවස්ථාව සඳහා 06 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ බි්‍රගේඩියර් කොඩිතුවක්කු, නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර, පස්බාගේ කෝරළේ සභාපති මංජුල කරුණාරත්න, ගඟඉහළ කෝරළයේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.













