කොළඹ නුදුරු බාලිකා විද්‍යාලයක නව වැනි වසරේ සිසුවියෝ පස් දෙනෙක් පාසල් කාලයේදී කිසියම් මත්පෙති වර්ගයක් පානය කර සිටියේ යැයි කියමින් පසුගිය සිකුරාදා 25 වැනිදා මරදාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් බාරයට ගෙන තිබෙනවා.
සිසුවියන්ට මත්පෙති අලෙවි කළ බව කියන කොළඹ මට්ටක්කුලිය සමිට්පුර තරුණයකු ද මත්පෙති ද සමග පසුව අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පවසන්නේ.
තම පාසලේ සිසුවියන් කිහිප දෙනෙකු කිසියම් මත්පෙති වර්ගයක් පානය කර සිටින බවට විදුහල්පතිනිය කළ පැමිණිල්ලක් අනුව පොලිස් කණ්ඩායමක් විදුහලට ගොස් 9 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පස් දෙනෙකු පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස පොලිස් භාරයට ගැනුණු සිසුවියන්ගෙන් එක් සිසුවියක් පළමුවෙන්ම පසුගිය 21 වැනිදා මත්පෙති තුනක් පාසලට ගෙනැවිත් එයින් එක පෙත්තක් ඇය පානය කර අනෙක් දෙක තවත් සිසුවියන් දෙදෙනෙක්ට ලබාදී ඇති බව පරීක්‍ෂණවලින් හෙළිව තිබෙනවා.
සිසුවියන් පාසලේ වැසිකිළියට ගොස් මත්පෙති පානය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිසුවියන්ගේ ඉල්ලීම මත කලින් මත්පෙති ගෙනා සිසුවිය යළිත්වරක් මත්පෙති තුනක් ගෙනැවිත් එයින් දෙකක් සිසුවියන් දෙදෙනෙකුට දීමෙන් පසු ඔවුන් ඒවා පසුගිය 23 වැනිදා පානය කර ඉතිරි පෙත්ත පසුගිය 25 වැනිදා පානය කර තිබෙනවා.
පොලිසිය භාරයට ගත් සිසුවියන් දෙමාපියන් බාරයේ වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.
උපුටා ගැනීම : ලංකාදීප පුවත්පත