
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය කිහිපය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වැසි සහ සුළං තත්ත්වය වැඩි වීමේ හැකියාවක් පවතින හෙයින් ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර, කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 ක් දක්වා වැඩි විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2 – 2.5 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.














