විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර හෙට(15) පැවැත්වීමට නියමිත තරගය සඳහා සහභාගිවීමට නියමිත ඉන්දීය ක්‍රීකට් කණ්ඩායම ඊයේ(13) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවී තිබෙනවා.
ඔවුන් ඊයේ (13) දින රාත්‍රී 09.45 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ස්පයිසි ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී.- 9250 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් 41 දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.
ඊට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ (ICC) නිලධාරීවරුන් 12 දෙනෙකු ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමත් සමගම, විනාඩි 05 ක් වැනි කෙටි කාලයක් තුළ සියලුම නිශ්කාශන කටයුතු නිමා කර, ගුවන් තොටුපොළෙන් පිට කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එසේම මෙම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවයි වී නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු කියා සිටියේ.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය හෙට(15) පස්වරු 7ට රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.














