අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයෙන් යළි ඉවත්වන බව නිවේදනය කර තිබෙනවා. මෙම තීරණය 2026 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට බලාත්මක වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අධ්‍යාපනය, විද්‍යාව සහ සංස්කෘතිය තුළින් ජාත්‍යන්තර සහයෝගීතාවය තුළින් සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවන ලද පැරිස් මූලස්ථානය සහිත මෙම ආයතනයට මෙම පියවර දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි වාර්තා වන්නේ.
යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධානී ඕඩ්‍රි අසූලේ ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාවේ මෙම නිවේදනය පුදුමයට කරුණක් නොවන බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය යළිත් යුනෙස්කෝවෙන් ඉවත් කර ගැනීමට ගත් තීරණය පිළිබඳ තමා ඉතා කණගාටු වන බවත්, ඕඩ්‍රි අසූලේ පවසා ඇතැයි සඳහන්. කෙසේ වෙතත් එය කණගාටුවට කරුණක් වුවද, මෙම නිවේදනය අපේක්ෂා කළ නිවේදනයක් වූ අතර, යුනෙස්කෝව ඒ සඳහා සූදානම්ව සිටි බවද ඔහු පෙන්වා දෙනවා.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළදීද, යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වූ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ගෝලීය දේශගුණික විපර්යාස ගිවිසුම සහ 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්ද ඉවත් වුණා.
එක්සත් ජනපදය ප්‍රථම වරට 1945 වසරේ යුනෙස්කෝව පිහිටුවීමේදී ඊට එක් වූවද, 1984 වසරේදී මූල්‍ය අක්‍රමිකතා සහ ඇමෙරිකානු විරෝධී නැඹුරුවක් යැයි පැවසු ප්‍රකාශයක් හේතුවෙන් ඊට විරෝධය පළ කරමින් පළමු වරට ඉවත්ව තිබුණා.
මේ අතර ඇමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් 2021 වසරේ දී බලයට පත්වීමෙන් පසු එම තීරණ ආපසු හැරවූ අතර, එක්සත් ජනපදය යුනෙස්කෝ සංවිධානයෙට, ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සහ දේශගුණික ගිවිසුමට යළි එක් වුණා.
කෙසේ වෙතත් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ධවල මන්දිරයට පැමිණීමත් සමඟම, එක්සත් ජනපදය නැවතත් මෙම ගෝලීය ආයතනවලින් ඉවත් වෙමින් සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.