අකුරේගොඩදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට යොදාගත් ආයුධ ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකු අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙක්.
පොල්ගස්ඕවිටදී බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර අකුරේගොඩදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට, ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා හෙට (18) දින දක්වා රඳවා තබා ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දුන්නා.
මෙම සැකකරුවන් දෙදෙනා කොට්ටාවේදී ඊයේ (16) පස්වරුවේ බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තා.
කෙසේවෙතත් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත ඩුබායි නිපුන හා මල්වානේ ටුටූ නැමැත්තන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවයි.
තලංගම අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳැසලක රථ ගාලේදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණා.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබුවා.














