2025-2026 ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීමට ප්‍රථම හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව තකා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩමළුව දක්වා ඇද ඇති වොට් 33000 අධිබලැති විදුලි රැහැන් පද්ධතිය ප්‍රතිසංස්කරනය කිරීම් කටයුතු ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද(21) දින ආරම්භ කෙරුණා.
එම මාර්ගයේ ඇද ඇති අධිබලැති විදුලි රැහැන් පද්ධතියට අකුණු සැර නොවදින සේ අලුත් තාක්ෂණ උපකරණ සවිකිරීමටත් කැඩීගොස් ඇති විදුලි කණු සහ උපාංග වෙනුවට අලුතින් සවි කිරීමේ කටයුතු සිදු කරන බවයි මධ්‍යම පළාත් 02 ප්‍රධාන ඉංජිනේරු බෙදාහැරීම් සහ නඩත්තු ඉංජිනේරු එම්.අයි. රිම්ශාඩ් මහතා කියා සිටියේ.
මෙම නඩත්තු කටයුතු සඳහා නුවරඑළිය, ගිනිගත්හේන, කෑගල්ල, පේරාදේණිය යන වැඩ ඒකකවල සේවකයින් 80 දෙනෙකු පමණ සහභාගි කරගත් බවත් එළැඹෙන ශ්‍රීපාද වන්දනා වාරය අවසන් වන තෙක් එම විදුලිය ලබාදීමේ නඩත්තු කටයුතු සිදු කරන බවයි එම්.අයි. රිම්ශාඩ් මහතා කියා සිටියේ.
2025-2026 ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උඳුවම් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත් ඒ අනුව අවාරයේ ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාවත්, පූජා භාණ්ඩ එම විහාරස්ථානයේ සිට මාර්ග හතරක් ඔස්සේ ශ්‍රීපාද උඩමළුව වෙත වඩම්මවා ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කරන බවයි ශ්‍රී පාද ස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමුව රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඩුල්ල දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් කියා සිටියා.












