තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මැතිවරණ කොමිසම විසින් සිදු කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව සදහන්.

එසේ නොමැති නම් තාවකාලික හැඳුනුම්පත ඡන්දය ප්‍රකාශ කිරීමට භාවිතා කළ හැකි බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් සහ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව තිබෙනවා.

එමෙන්ම සැප්තැම්බර් 04 සහ 06 යන දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට හැකි වනවා.

සැප්තැම්බර් මස 05 සහ 06 යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවලද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව ඇත.

මේ අතර අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද හිමියන්ට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටින්නේ.

WhatsApp Group

Skip to content