ශ්‍රී ලංකා පොලිසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලිසිය එක්ව සිදු කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගැනුණු අවශ්‍ය කරන සැකකරුවෙක් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර නැවත දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිට මෙරටට පිටුවහල් කරන ලද අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු වන ශ්‍රීදරන් නෙරංජන් නොහොත් ටින්කර් නමැත්තා අද(01) දින අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්විසින් පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 36ක් පමණ වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
අදාළ සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් කොච්චිකඩේ ශිරාන් නමැත්තාගේ අනුගාමිකයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.
සැකකරු 2024.10.16 දින ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් පැමිණි කාර් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
එසේ පසුගිය අගෝස්තු මස 19 වන දින පෑලියගොඩ, ශ්‍රී ඥානතරන මාවතේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන්ට අපරාධය සිදු කිරීමට අවශ්‍ය ගිනි අවි ප්‍රවාහනය කර ඇති බවද පොලිසිය පවසනවා.
දැනට මෙම සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර සැකකරු අගෝස්තු මස 19 වන දින විදෙස් ගතව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
සැකකරු අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉිදරිපත් කිරීමට නියමිතයි.
පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.