ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයින්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමුව ඇති බව ඉන්දියානු ව්‍යවසායකයින් පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීන් ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් විසි දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටිනවා. එම කණ්ඩායම ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිපදෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්. ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පවසා තිබෙනවා.