හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගත් බවට සැක කරන ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සොයා ගෙන තිබෙනවා.
කළුතර අපරාධ කොට්ඨාසය මගින් මෙම ද්‍රව්‍ය සහ උපකරණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කරමින් පොලිසිය සිදු කරන ලද විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් සිටින ඇඹිලිපිටියේ සුරංග නමැති අපරාධකරුගෙන් අනාවරණ වූ තොරතුරු මත මෙම ද්‍රව්‍ය සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඇඹිලිපිටියේ සුරංග නමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේදී වයස අවුරුදු 21ක් පමණ වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හම්බන්තොට, මයුරපුර ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යෙදාාගත් බවට සැක කරන උපකරණ සහ රසායනික ද්‍රව්‍ය, අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කරන එම අවන්හලේ නවතා තිබූ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මෝටර් රතය දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ නිවාඩු නිකේතනයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගත් බවට සැක කරන රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් අඩංගු කෑන් 14ක් මෙන්ම ඒ සඳහා යොදා ගත් බවට සැක කරන තවත් උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මෝටර් රථය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින අතර එම මෝටර් රථය පානදුර නිලංග නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගත් බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.
එසේම මින් පෙර පොලිස් නිලධාරියෙකු මගින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෝටර් රථයක් බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඉරාන ජාතිකයන් කිහිප දෙනෙක් සහ ලාංකිකයන් කිහිප දෙනෙක් එක්ව මෙම නිවාඩු නිකේතනයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් අදාළ ඉරාන ජාතිකයන් දෙදෙනා මේ වන විට මෙරටින් පළා ගොස් ඇති බවට අනාවරණ වී ඇති බවද වාර්තා වනවා.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සම්බන්ධ අනෙක් පිරිස් සොයා කළුතර අපරාධ කොට්ඨාසය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු 21 හැවිරිදි සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරනයට අද(15) ඉදිරිපත් කිරීමට නියමිතයි.