ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කරමින්, එම දෙපාර්තමේන්තුවේ කිරින්ද උසස් පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රාහකත්වයෙන් ස්ථාපිත කෙරුණු; යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පුහුණුවීම් කටයුතු සඳහා භාවිතා කරනු ලබන Ship-in-a-Box පුහුණු සමාකෘතිය විවෘත කිරීම, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී, ගරු ජූලි චංග් මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් පූජිත විතානගේ ගේ සහභාගිත්වයෙන් අද දින (2024 අගෝස්තු මස 15) කිරින්ද උසස් පුහුණු ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජයගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් සහ ඒ සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සූදානම වර්ධනය කිරීමේ අරමුණින්, මෙම Ship-in-a-Box පුහුණු සමාකෘතිය ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කිරින්ද උසස් පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ මෙලෙස ස්ථාපිත කිරීම සිදු කෙරිණි.

මෙම පුහුණු සමාකෘතිය ස්ථාපිත කිරීම මඟින් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින්  සාගරික කලාපයේ සිදුකරනු ලබන මුහුදු මංකොල්ල පිටු දැකීමේ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ මෙහෙයුම් ඇතුළු සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සඳහා අවශ්‍ය, නෞකා වෙත ප්‍රවිශ්ඨ වීම පරීක්‍ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයන් හා සම්බන්ධ පුහුණු පාඨමාලාවන් ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව පැවැත්වීමට සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සූදානම වර්ධනය කරගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

WhatsApp Group

Skip to content