ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම එකඟතාව අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 337 ක පමණ මුල්‍ය පහසුකමක් හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය.

පීටර් බෘවර් මහතා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ඊයේ (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය වන අතර ඒ මඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින බව පැවසූ පීටර් බෘවර් මහතා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටුණු බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවත් සඳහන් කළේය.

WhatsApp Group

Skip to content