ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

විපක්ෂනායකවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ලක්ෂ 220ක මෙරට ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදිය යුතු බවයි.

එම සාකච්ඡාවට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් නියෝජනය කරමින් පිරිසක්ද එක්ව සිටියා.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත විපක්ෂයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ ගන්නා සෑම පියවරක්ම රට බංකොළොත්භාවයෙන් මුදා ගැනීමටත් ආයෝජන සවිමත් කිරීමටත් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් හේතු විය යුතු බවයි.

රටෙන් හරි අඩකට ආසන්න පිරිසක් දුප්පත් වී ඇති තත්ත්වයක් තුළ කුටුම්භවල ආදායම් මට්ටම ශීඝ්‍ර ලෙස පහළ වැටීම හේතුවෙන් ළදරුවන්, ගැබිනි කාන්තාවන්, මව්වරුන්, 41 ලක්ෂයක පාසල් සිසුන් මෙන්ම තරුණයන් තුළ ද මන්දපෝෂණ තත්ත්වයක් වර්ධනය වී ඇති බවද විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මෙම තත්ත්වය මැඩපවැත්වීම සඳහා ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ සහය අවශ්‍ය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත අවධාරණය කළේ.

WhatsApp Group

Skip to content