පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොටලීය පාලමේ ගැටීමෙන් ගඟට පෙරලී යාමෙන් පුද්ගලයන් දස දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

පොළොන්නරුවේ සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බවත් ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වනවා.

අද(09) රාත්‍රී 7.30ට පමණ අනතුර සිදුව තිබෙනවා.

තුවාලකරුවන් පොළොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කෙරුණා.

පොලිසිය පවසන්නේ බස් රථයේ මගින් 60කට අධික සංඛ්‍යාවක් ගමන් කර ඇති බවයි.

මෙලෙස තුවාල ලබා සහ මියගොස් ඇති පුද්ගලයන් අක්කරේපත්තුවේ පදිංචිකරුවන් බවටද වාර්තා වනවා.

ඇසින් දුටුවන් පවසන්නේ අධික වේගයෙන් පැමිණි බස් රථය පාලමේ ගැටීමෙන් පෙරළී ගිය බවයි.

බස් රථයේ සිටි මගීන් ගලවා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලදාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් කඩිනම් පියවර ගෙන තිබෙන අතර එලෙස බේරා ගනු ලැබූවන් රොහල් ගත කෙරුණා.

කෙසේ වෙතත් පුද්ගලයන් කිහිප දෙනෙක් ගඟ ගසාගෙන යන්නට ඇති බවටද සැක පළව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනවා.

WhatsApp Group

Skip to content