2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම පිළිබඳ විශේෂ නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂා කිරීමක් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා පෙබරවාරි 28 වන දින දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ.

මේ සඳහා අවශ්‍ය තොරතුරු දැන ගැනීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.

එමෙන්ම ක්ෂණික දුරකථන ඇමතුම් වන 1911 හෝ පාසල් විභාග සංවිධාන හෝ ප්‍රතිඵල ශාඛාව 0112-784 208 මෙන්ම 0112-784 537 යන දුරකථන අංක හරහා වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවටයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ තිස් හතරදහස් අටසිය පස් දෙනෙකු අයදුම් කළ අතර විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ විසි නව දහස් හයසි හැට අටක් බවයි වාර්තා වන්නේ.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් කඩඉම් ලකුණු ද මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, ක`ඵතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික් සඳහා කඩඉම් අවම ලකුණු සංඛ්‍යාව 153ක් වන අතර හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණු සංඛ්‍යාව 150ක් බව සඳහන්.

මේ අතර අම්පාර, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා අවම කඩඉම් ලකුණු සංඛ්‍යාව 148ක් වන බවයි විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එමෙන්ම නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා ලකුණු 147ක අවම කඩඉම් ලකුණු සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර මන්නාරම, වවුනියාව සහා මුලතිව් දිස්ත්‍රික්ක සඳහා ලකුණු 145ක අවම සීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content