පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිමත් කරමින් කොළඹ වරාය නගරය අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා ද පහසුකම් සලසෙන මූල්‍ය කලාපයක් ලෙස නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඒ තුළ ව්‍යවසායන් දියුණු කිරීම සහ ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කිරීම වැනි කටයුතු දෙස් විදෙස් ආයෝජකයන් වෙත පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොකළ විභවයන් උපයෝගී කර ගැනීම’ යන තේමාව යටතේ පැවැත්වෙන 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ විය.

සමාරම්භක සැසියෙන් අනතුරුව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා සභාවක් ද පැවැත්විණ.

WhatsApp Group

Skip to content