පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙම තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන තරග සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කලේ.

එහිදී තරගාවලියේ අවසන් මහා තරගය ඇතුලත්ව තරග 9 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර තරග 4 ක් පාකිස්තානයේ දී පැවැත්වෙනවා.

ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
පාකිස්ථානයේ මුල්තාන්හීදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 03ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුසංක හට ද එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.
මිට පෙර දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ වනිදු හසරංගට මෙවර ආසියානු කුසලාන තරගාවලිය ආබාධ හේතුවෙන් අහිමි වුණා.

වත්මන් ආසියානු ශූරයින් වන ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ක්‍රීඩා කරනු ලබන පළමු තරගය හෙට බංග්ලාදේශයට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content