ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් භාවිත කරමින් අයිස් මත්ද්‍රවය ජාවාරමේ යොදුණු වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත උපපොලිස් පරීක්ෂක කේ.ඩි.එච්.කේ. ගයාංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් නොවැම්බර් 12 වනදා කුරුණෑගල, තෙලියාගොන්න පල්ලිය අසල දී සිදු කරන ලද වැටලීමකදීයි.

එහි දී කොහුවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටිය දී වැඩ තහනමට ලක්ව සිටින කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ ලෙස සකස් කර ලද පොලිස් හැඳුනුම්පතක් භාවිත කරමින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මෙම වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1.470ක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියන් 8150ක මුදලක් සහ යතුරු පැදියක්ද විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය භාර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන් ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ඩබ්.සී.එස්. සිල්වා මහතාගේ අධික්ෂණයෙන් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content