කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි ප්‍රධානතම ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන ස්මාර්ට් ෂර්ට්ස්හි ගබඩාව බිඳ, එහි අපනයනය සඳහා ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ එකොළහක් වටිනා මසා නිම කළ ටී – ෂර්ට් සහ කමිස තොගයක් සොරාගත්,

එම කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා ඇතුළු තිදෙනකු, එසේ සොරා ගත් ඇඟලුම් සමග අද(22) දින කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ඇති බව එම පොලිසියේ ප්‍රකාශකවරයෙකු කියා සිටියා.

ඉකුත් 20 දින රාත්‍රී මෙම ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා, තවත් ඔහුගේ සහයන් දෙදෙනෙකු සමග පැමිණ මෙම කර්මාන්ත ශාලාවේ ගබඩාවේ පිටුපස කවුළුවක් බිඳ මෙම ඇඟලුම් සොරා ගෙන තිබෙනවා.

පසුව එසේ සොරකම් කළ ඇඟලුම් තොගය මෝටර් රථයක් මගින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා.

මෙම කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා හිටපු හමුදා නිලධාරීවරයෙකු වන අතර ඔහු විසින් මෙම සොරකම සම්පූර්ණයෙන් සැළසුම් කර මෙහෙයවා ඇති බවත්, මෙම ඇඟලුම් එළැඹෙන උත්සව සමයේ අලෙවිය සඳහා යොමු කිරීමට මොවුන් සැළසුම් කර තිබූ බවත් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ ඔවුන් මෙම සොරකම සඳහා භාවිතා කළ මෝටර් රථය කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක පොලිසිය සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content