ශ්‍රී ලංකා යුධ හමුදා ආබාධිත විශ්‍රාමික රණවිරුවන් හට මෙතෙක් ගෙවූ සලාක මුදල කපා හැරීමට විරෝධය පා රණවිරු අපි වෙනුවෙන් අපි එකමුතුව 17 දින මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට අධිෂ්ඨාන පූජාවක නිරත වුනා.

රණවිරු අපි වෙනුවෙන් අපි එකමුතුවේ කැඳවුම්කරු විශ්‍රාමික යුධ හමුදා බලලත් නිලධාරි එන්.ඒ.ජේ. නිශ්ශංක කියා සිටියේ රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි නොතකා සටන් වැද මියගිය, අතුරුදහන්වූ හා ආබාධිත යුධ හමුදා රණවිරුවන් තිස් දහසකට අධික රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ගෙවන ලද සලාක මුදල මාස දෙකක සිට අත්හිටුවීම විශාල අසාධාරණයක් බවයි.

‘වසර 30 ක කුරිරු යුද්ධය දිවි පුදා නිමා කළ ත්‍රිවිධ හමුදාවටම ලබාදුන් මෙම සලාක මුදල මේ වන විට යුද හමුදාවෙන් පමණක් ඉවත් කිරීම ඉතාමත් අසාධාරණයක්. මේ සලාක මුදල නාවික හා ගුවන් හමුදාවට පමණක් ගෙවනවා. යුධ හමුදා රණවිරුවන් මේ ආකාරයෙන් නොසලකා හැරීම අපට කිසිසේත්ම පිළිගන්න බෑ. මේ වන විට අපි අපේ ශරීරයේ අවයව රට වෙනුවෙන් පූජා කරල ජීවත් වෙන්න නොවිඳිනා දුක් විඳිනවා. අපේ දරු පවුල බඩගින්නේ පවා ඉන්නවා. මේ වගේ ආර්ථික තත්ත්වයක් මත ඒ සලාක මුදල අහිමි කිරීම කිසිසේත් පිළිගන්න බෑ. යුධ හමුදාවට විතරක් මේ අසාධාරණය කරන්නේ ඇයි කියලයි අපි අහන්නේ. කොටි ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාර මැද රටේ ඒකීයභාවය වෙනුවෙන් අපි යුධ වැදුනේ ජීවිතය පවා පරදුවට තියලයි. එහෙම අපිට මේ කෙනෙහිලිකම් කරන්නේ ඇයි’ යනුවෙන්ද හෙතෙම කීය.

මෙම අවස්ථාවට දිවයින පුරා රණවිරු සංවිධාන නියෝජනය කරමින් ආබාධිත රණවිරුවෝ මෙන්ම එම සංවිධානවල නියෝජිතයන්ද එක්ව සිටි අතර ප්‍රථමයෙන් මියගිය රණවිරුවන් උදෙසා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ රණවිරු පිරිස අධිෂ්ඨාන පූජාවක නිරත වුනා.

මෙම අධිෂ්ඨාන පූජාවට එක් වූ රණවිරුවන් සඳහන් කළේ මේ සඳහා රටේ පාලකයන්ගේ හා වග කිව යුත්තන්ගේ අවධානය යොමු නොවුනහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

WhatsApp Group

Skip to content