චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අනුව සමන්තුරේ මුලික රෝහලේ රුපියල් මිලියන 850 ක වියදමින් ඉදිකෙරෙන තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවති.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා (23) නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ මුලික රෝහලේ ඉදිවෙන මෙම ගොඩනැගිලි සංකීර්ණය නිරික්ෂණයට ලක් කරන ලදි. මෙහිදී රෝහල් සංවර්ධන කමිටු රැස්වීම ද පවත්වන ලදි.

මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් සම්පුර්ණයෙන් නිම කර උපකරණ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙමින් මාස 02 ක කාලයක් තුල ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි. ගොඩනැගිල්ල ඉතා කෙටි කාලයක් තුල නියමිත ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකිරීම් සිදු කරමින් අවසන් අදියරට පැමිණ ඇති බව ද පැවැසීය. සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් අනුව රෝහලට පැමිණ අවශ්‍යතා හදුනාගෙන ව්‍යාපෘතිය අවසන් කිරීමට අදාල තීරණ ලබාගත් බව ද පැවැසීය.

මෙම තෙමහල් ගොඩනැගිලි සංකීරණය තුල, වාට්ටු සංකීර්ණ, මාතෘ ඒකක, ඖෂධ ගබඩා, සායන බෝනොවන රෝග ඒකක, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන, රසායනාගාර, ශල්‍යාගාර සහ හදිසි ප්‍රතිකාර ඒකක ද වේ. මෙම ව්‍යාපෘතිය යටතේ වෛද්‍ය උපකරණ ද එම රෝහල්වලට ලබාදීමට ද කටයුතු යොදා ඇත.

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අනුව මීරිගම මුලික රෝහල, සමන්තුරේ මුලික රෝහල, එරාවුර් මුලික රෝහල, පොතුවිල් මුලික රෝහල, කල්පිටිය ප්‍රාදේශීය රෝහල, රකිල්ලගස්කඩ මුලික රෝහල, දර්ගා නගරය ප්‍රාදේශීය රෝහල, අළුත්ගම ප්‍රාදේශීය රෝහල, මැදිරිගිරිය මුලික රෝහල, පදවිය මුලික රෝහල, වලස්මුල්ල මුලික රෝහල, කලවාන මුලික රෝහල, මහියංගණය මුලික රෝහල යන රෝහල් වල සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

WhatsApp Group

Skip to content