වත්මන් පරපුර තුළ සතිමත්බව ඇති කිරීම අරමුණු කර ගනිමින් “බුද්ධ රශ්මි” ‍ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් ඊයේ (20) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීමෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්, විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර පාසල්, තාක්ෂණ විද්‍යාල නියෝජනය කරමින් 500 ක පමණ පිරිසක් එක්ව සිටියහ.

පූජ්‍ය මීතිරිගල ආරණ්‍ය සේනාසනවාසී පූජ්‍ය හෝමාගම ධම්මකුසල හිමිපාණන් වහන්සේ විසින් මෙම වැඩසටහනේදී “සතිමත්බව” වැඩීම පිළිබඳ සිසුන් ප්‍රායෝගික අභ්‍යාසයන්හි පුහුණු කිරීම සිදු කෙරිණි.

මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ රටේ අනාගතය පවතින්නේ ළමා පරපුර මත වන අතර දරුවන්ගේ හැදියාව, ශික්ෂණය, කුසලතාව හා හැකියාව මත රටේ ඉදිරි ගමන තීරණය වන බවයි.

විනය ගරුක, දක්ෂ ළමා පරපුරක් ඇති කිරීම වෙනුවෙන් සතිමත් බව පිහිටුවීමේ වැඩසටහන බෙහෙවින් වැදගත් වනු ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ එය සංවිධානය කළ සියලුදෙනා වෙත සිය ස්තූතිය පිරිනැමීය.

WhatsApp Group

Skip to content