ශ්රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්රතිඵලයක් ලෙස මියගිය පිරිස සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්යයනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය.
ජ්යෙෂ්ඨ මහාචාර්ය ජගත් වීරසිංහ, සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේ මහාචාර්ය චන්ද්රගුප්ත තේනුවර, යාපනය විශ්වවිද්යාලයේ මහාචාර්ය ටී. සනාතනන්, කොළඹ විශ්වවිද්යාලයේ මහාචාර්ය ෆර්සානා හනීෆා, ජාතික සමගිය හා ප්රතිසන්ධාන කාර්යාලයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් තුෂාරි සූරියආරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි යන මහත්ම මහත්මීන්ගේ සාමාජිකත්වයෙන් යුතු මෙම කමිටුව 2023-05-22 වනදා ගනු ලැබූ කැබිනට් තීරණයට අනුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පත් කරනු ලැබීය.
1983-2009 කාලය තුළ ශ්රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්රතිඵලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම පුද්ගලයන් සැමරීම සඳහා සංහිදියාවේ සහ ප්රතිසන්ධානයේ සංකේතයක් ලෙස ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් අධ්යයනය කරන ලදී.

WhatsApp Group

Skip to content