දිමුත් කරුණාරත්නගේ හා වනිදු හසරංගගේ සුපිරි දක්ෂතා හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 15 වැනි තරගය ජය ගැනීමට සමත් වුණා. ඒ, අයර්ලන්තය ලකුණු 133 කින් පරාජයට පත් කරමින්.

මෙම විශිෂ්ඨ ජයත් සමග ශ්‍රී ලංකාව සුපිරි 6 වෙනි වටයේ ස්ථානයක් ද හිමි කර ගැනීමට සමත් වුණා. මෙම තරගයේ දී සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ දිමුත් ලකුණු 103 ක් ලබා ගත්තා.

වනිදු යළිත් වරක් කඩුලු 5 ක් දවා ගත්තේ මෙම තරගාවලියේ දී අඛණ්ඩව එම කඩඉම පසුකළ තෙවැනි අවස්ථාව සටහන් කරමින්. මෙම දක්ෂතා නව වාර්තා කිහිපයක් ද අලුත් කිරීමට සමත් වුණා.

වසර දෙකකට පමණ පසුව මෑතකදී යළි එක්දින කණ්ඩායමට පැමිණි දිමුත් කරුණාරත්න ඊයේ තරගයේ දී සිය එක්දින ලකුණු 1,000 සීමාව පසු කර යාමට සමත් වුණා. මේ වන විට ඉනිම 36 කදී දිමුත් වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 1,095 ක්. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 1,000 ක් වාර්තා කළ 35 වැනි පිතිකරු ලෙසයි ඉතිහාසයට එක් වුණේ.

දිමුත් මෙම තරගයේ දී ලකුණු 50 සීමාව පසු කළේ අඛණ්ඩව එක්දින තරග 5 කදී එම දක්ෂතාවය දැක්වීමට සමත් වෙමින්. ඒ අනුව එලෙස අඛණ්ඩව එක්දින තරග 5 කදී ලකුණු 50 සීමාව පසු කළ තෙවැනි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලෙසයි දිමුත් වාර්තා අතරට එක් වුණේ.

මීට පෙර 1997 දී සනත් ජයසූරිය හා 2013 වසරේදී තිලකරත්න ඩිල්ෂාන් එම දක්ෂතාවය දක්වා තිබුණා. ඊට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර් සංගක්කාර 2014 වසරේ දී ද, දිනේෂ් චන්දිමාල් 2016 වසරේ දී ද මෙම දක්ෂතාවය දක්වනු ලැබුවා.

දිමුත් වාර්තා කළ ශතකය ද නව ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කළා. ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල එක්දින ශතකය වාර්තා කළ වයසින් වැඩිම පිතිකරු බවට පත් වෙමින්.

මීට පෙර තිලාන් සමරවීර වයස අවුරුදු තිස් දෙකේ දී සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් එම වාර්තාවට හිමිකම් කියූ අතර, දිමුත් ඊයේ දිනයේ දී සිය මංගල එක්දින ශතකය වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 35 ක්. ලෝක එක්දින ඉතිහාසයේ දී සිය මංගල එක්දින ශතකය වාර්තා කළ වයසින් වැඩිම පිතිකරුවන් ලැයිස්තුවේ දිමුත්ට හිමිව ඇත්තේ 15 වැනි ස්ථානයයි.

මේ අතර වනිදු හසරංග මෙම තරගාවලියේ පළමු තරගයේ දී කඩුලු 6 ක් ද, දෙවැනි තරගයේ දී හා තෙවැනි තරගයේ දී කඩුලු 5 බැගින් ද දවා ගැනීමට සමත් වුණේ නව වාර්තාවක් පිහිටුවමින්.

එලෙස අඛණ්ඩව එක්දින තරග 3 කදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් ලොව පළමු දග පන්දු යවන්නා ලෙසයි වනිදු ඉතිහාසගත වුණේ. එමෙන්ම එම දක්ෂතාවය දැක් වූ ලොව දෙවැනි ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

WhatsApp Group

Skip to content