ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඊයේ පැවති තරගයෙන් පාකිස්තානය පරදා 11 වැනි වරටත් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පළමුව එක් ඉනිමක් පන්දුවාර 45 කට සීමා කෙරුණු අතර, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිම අතරවාරයේ දී ද තරගයට වර්ෂාවෙන් යළි බාධා එල්ල වීම නිසා ඉනිමක් පන්දුවාර 42 කට සීමා කෙරුණා.

ඒ අනුව නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 7 ක් දැවී පාකිස්තානය රැස් කළ ලකුණු සංඛ්‍යාව 252 ක්.

එහිදී මොහමඩ් රිස්වාන් පන්දු 73 කින් නොදැවීලකුණු 86 ක් රැස් කළා.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 65ට කඩුළු 3ක් සහ ප්‍රමෝද් මධුෂාන් ලකුණු 58 කඩුළු 2ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 252ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 91ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යමින් චරිත් අසලංක නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 49ක්.

ඒ අනුව ලබන ඉරිදා පැවැත්වෙන ආසියානු කුමලාන අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.

WhatsApp Group

Skip to content