ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය මගීන්ගේ සහ රජයේ සේවකයන්ගේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම යටතේ ශ්‍රී ලංකාවේ පළමුවරට විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ විද්‍යුත් දුම්රිය බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී සිදුවිය.

මෙම නව ක්‍රමවේදය යටතේ සාමාන්‍ය දුම්රිය මගීන්ට සහ සංචාරකයින්ට නව විද්‍යුත් ප්‍රවේශපත්‍ර ක්‍රමය භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය යටතේ තම ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකියාව ලැබේ. එහිදී මගීන්ට දුම්රිය ප්‍රවේශ පත්‍රය මාර්ගගත ක්‍රමයට වෙන්කරවා ගැනීමෙන් අනතුරුව දුරකථනය වෙත ලැබෙන QR සංකේතය සහිත විද්‍යුත් ටිකට්පත සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලෙස ගමනන්ත දක්වාම භාවිත කිරීමේ හැකියාව හිමිවෙයි. ඒ අනුව මෙතෙක් පැවති දුම්රිය ස්ථානය වෙත පැමිණ වෙන් කරවා ගත් ටිකට් පත් ලබා ගැනීමේදී මගී ජනතාව මුහුණ දුන් අපහසුතාවයන් රැසක් මෙම ක්‍රමය සමඟ මඟහැරී යනු ඇත.

එමෙන්ම රජය සේවකයින් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් ලබාදෙන දුම්රිය බලපත්‍රයද මාර්ගගත ක්‍රමය යටතේ විද්‍යුත් දුම්රිය ගමන් බලපත්‍රයක් ලෙස වෙන් කර ගැනීමේ අවස්ථාව මෙම ක්‍රමය යටතේ හඳුන්වා දී තිබේ. ඒ අනුව තම කාලය ශ්‍රමය ඉතිරි කර ගනිමින් මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශපත්‍ර වෙන් කරවාගෙන M-ticketing පහසුකම සහිත ඕනෑම දුම්රිය ස්ථානයකින් තම ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම සඳහා පැය 24 පුරාම අවස්ථාව හිමිවෙයි.

මෙම නව විද්‍යුත් ප්‍රවේශ පත්‍ර ක්‍රමය සහ විද්‍යුත් ගමන් බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීමත් සමඟ පිරිවැය අවම කරමින් මනා විනිවිද භාවයකින් යුතු ක්‍රමවේදයක් ලෙස සංචාරකයින්ට සහ මගී ජනතාවට ඉමහත් පහසුවක් හිමිවනු ඇත. පුනර්ජීවය ලබන සංචාරක ව්‍යාපාරයට ද විශාල සහයෝගයක් ලබා දෙමින් ජාතික ආර්ථිකය ඉහළ නැංවීමටද මෙය විශේෂ මෙහෙවරක් වනු ඇත.

WhatsApp Group

Skip to content