පාර්ලිමේන්තුවේ හිටපු කතානායක දේශබන්ධු කරු ජයසූරිය මහතාට සම්මාන පදවියක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දන්වා ඇත්තේ කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානයෙන් පිදුම් ලබන බවයි.

ගම්පහ මීරිගම ප්‍රදේශයේ දී උපන් කරු ජයසූරිය මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්.

ගෞරව සම්මාන නාම රැසකින් පිදුම් ලබා මේ වන විට 82වන වියේ පසුවන ඒ මහතා 1965 දී අධිකාරිලත් නිලධාරීයෙකු ලෙස යුධ හමුදාවට එක්වූ අතර – පෞද්ගලික සමාගම් සහ ලියාපදිංචි රාජ්‍ය සමාගම් 50කට අධික සංඛ්‍යාවක ප්‍රධානි ලෙස කටයුතු කර තිබෙනවා.

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ලෙස ද සේවය කර ඇති කරු ජයසූරිය මහතා 1997 වසරේ කොළඹ මහ නගර සභාවේ පුරපතිධුරයට පත් වුනා.

2001 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා අමාත්‍යධුර රැසක් දැරු දේශපාලනඥයෙක්.

ශ්‍රී ලංකා රජය විසින් පිරිනමන ඉහළම ජාතික ගෞරවය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය කරු ජයසූරිය මහතා ට නිදහස් දිනයට පෙර දිනයේ ජනාධිපති කාර්යාලයේ දී පවත්වනු ලබන සම්මාන ප්‍රදාතෝත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගන්වනු ලබනවා.

WhatsApp Group

Skip to content