රජයෙන් ලබා දුන් ඇමරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06 තුළ පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අද පෙරවරුවේ අමාත්‍යංශයේදී පැවති වි‍ශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එසේ නොවුණහොත් 6000ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇතිවන බවයි.

පසුගිය කාල පරිච්ඡේදයේ විටින් විට ශ්‍රි ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් වල ඇති වූ ප්‍රමාදයන් නිසා ගුවන් මගීන්ට සිදු වූ හිරි හැර සහ බාධාවන් හේතුවෙන් ගුවන් සමාගම විශාල ලෙස දෝෂ දර්ෂණයට සහ විවේචනයන්ට ලක් වුණා.

ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවය බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක පමණ ණය ප්‍රමාණයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 510ක් පමණ රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබුණා.

ඒ අනුව ආකර්ෂණීය මූල්‍ය ශේෂ පත්‍රයක් සමග ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඉදිරි මාස 06 තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර මෙම සාකච්ඡාවේදී හෙලි වූ කරුණු අනුව අද වන විට ගුවන් යානා 16 ක් මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර එම යානා භාවිතා කර දිගු ගමනාන්ත 06ක් සහ කෙටි ගමනාන්ත 29 ක ගුවන් මෙහෙයුම් සිදු කරන බව සමාගමේ බලධාරීන් ප්‍රකාශ කළා.

මෙම මෙහෙයුම් කටයුතු සඳහා කල් බදු පදනම මත බෙලිජියම් ගුවන් යානා 03ක් සහ ෆිට් එයාර් r ගුවන් යානයක් සමාගම වෙත ලබා ගෙන ඇති බවයි බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content