ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්ව්වැනි දිනය අදයි.
සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 219 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව ඊයේ දිනය සදහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 94 ක්.
ඒ අනුව ඔවුන් ජයග්‍රහනය සදහා තවත් ලකුණු 125 ක් ලබා ගත යුතු වනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුළු ලකුණු සංඛ්‍යාව 39 දී දිමුත් කරුණාරත්න ලකුණු 8 කට දැවී ගියා.
එහිදී දිමුත් කරුනාරත්න ටෙස්ට් ලකුණු 7,000 සීමාව පසු කල අතර, එම සීමාව පසු කළ සිව්වැනි ශ්‍රී ලංකා පිතිකරු ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ.

ඔහුගේ දැවී යාමෙන් අනතුරුව දෙවැනි කඩුල්ල සදහා පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් අතර මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 55 ක්.
පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් වාර්තා කළ පැතුම් නිස්සංක මෙම ඉනිමේ දී නොදැවී ලකුණු 53 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 30 යි.

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ සිය පලමු ඉනිම සදහා ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 263 ක්.

ඒ, එංගලන්තය පළමු ඉනිමට රැස් කළ ලකුණු 325 ට පිළිතුරු ලෙසයි.
ධනංජය ද සිල්වා ලකුණු 69 ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 64 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළා. . පැතුම් නිස්සංක ලකුණු 64 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ජොෂ් හල් හා ඔලී ස්ටෝන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම විශේෂත්වයක්.
එය ටෙස්ට් තරගයකදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ එංගලන්තයේ දී දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාවයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ජෙමී ස්මිත් පන්දු 50 කින් ලකුණු 67 ක් රැස් කළා. ඩෑන් ලෝරන්ස් ලකුණු 35 යි.
පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුලු 4 ක් දවා ගත් අතර, විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් බිද හෙලුවා.

WhatsApp Group

Skip to content